ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව උල්ලංඝනය කරමින් නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ජාතිකයින් 09 දෙනෙකු සහ ඔවුන් පැමිණි යාත්‍රාවක් නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන ඇත.
මෙම වැටලීම සිදුකර ඇත්තේ ඊයේ (12) රාත්‍රී කාලයේදී තලෙයිමන්නාරම, උරුමලෙයි තුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදීය. අදාළ ඉන්දීය ධීවර යාත්‍රාව ජාත්‍යන්තර මුහුදු සීමාව තරණය කර මෙරට මුහුදු කලාපයට ඇතුළු වී තිබුණි.
අත්අඩංගුවට ගත් පිරිස මුහුදු පතුලට හානි සිදුකරන ‘Bottom Trawling’ හෙවත් පතුල් ඇදීමේ ධීවර ක්‍රමය භාවිත කරමින් මසුන් අල්ලමින් සිට ඇති බව නාවික හමුදාව පවසයි. මන්නාරම් බොක්ක ආශ්රිත ප්‍රදේශය ජෛව විවිධත්වයෙන් පොහොසත් සංරක්ෂිත කලාපයක් බැවින් මෙවැනි ධීවර ක්‍රම භාවිත කිරීම දැඩි නීති රෙගුලාසි යටතේ තහනම් කර ඇත.
නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් සහ යාත්‍රාව ඉදිරි නීතිමය පියවර ගැනීම සඳහා මන්නාරම ධීවර පරීක්ෂකවරයා වෙත භාරදීමට නියමිතව ඇත.
