ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ධීවර ක්ෂේත්‍රයට සම්බන්ධ ගැටලු සහ ඒවාට ක්‍රියාත්මක කළ හැකි විසඳුම් පිළිබඳ සාකච්ඡා කිරීමේ විශේෂ රැස්වීමක් ඊයේ (13) ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සඳහා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සහ නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර, පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

මෙහිදී ධීවර ප්‍රජාවගේ දෛනික ජීවනෝපාය ගැටලු මෙන්ම පසුගිය රැස්වීම්වල තීන්දු තීරණවල ප්‍රගතිය පිළිබඳවද දීර්ඝ ලෙස සමාලෝචනය කෙරිණි. එරක්කන්ඩි කලපුව ආශ්‍රිත පාරිසරික බලපෑම්, තෙන්නමරවාඩි සහ ලංකාපටුන නව පොලිස් ස්ථාන පිහිටුවීම සහ කොඩ්බේ ධීවර වරායේ බෆර් සෝන් කලාපය නිදහස් කිරීම ඇතුළු කරුණු රැසක් කෙරෙහි අවධානය යොමු විය.

අධික සුළං පවතින කාලවලදී කුඩා එන්ජින් භාවිත කරමින් මුහුදට යාමට ධීවරයන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් නාවික හමුදාව හා වරාය අධිකාරිය සමඟ සාකච්ඡා කර තීරණයක් ගැනීමටත්, සියලු පරිපාලන සේවා එකම තැනකින් ලබාදීමට ඒකාබද්ධ සේවා මධ්‍යස්ථානයක් පිහිටුවීමටත් මෙහිදී සාකච්ඡා කර ඇත.

ධීවර කර්මාන්තය මෙන්ම සංචාරක ක්ෂේත්‍රයද සමබරව පවත්වාගෙන යමින්, නීතිවිරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීමට සහ අදාළ ආයතන එකතු වී කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට අමාත්‍යවරයා මෙහිදී දැඩි ලෙස අවධාරණය කළේය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version