ශ්‍රී ලංකාවේ බෞද්ධ සංස්කෘතික උරුමයේ සුවිශේෂී ස්ථානයක් හිමි කරගන්නා ඓතිහාසික බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ 76 වැනි ඇසළ මහා පුණ්‍යෝත්සවය මේ දිනවල ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ.
මෙම පුණ්‍යෝත්සවයට සමගාමීව සංවිධානය කර තිබූ පාවඩ පෙරහැර පසුගිය 13 වැනිදා රාත්‍රියේ වීථි සංචාරය කළේය. මෙම ආගමික අවස්ථාව සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද සහභාගි වූහ.
විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නායක ස්වාමීන්වහන්සේගේ අනුශාසනා පරිදි පැවැත්වෙන මෙම ඇසළ උත්සවය ජූලි 25 වැනිදා ආරම්භ විය. අලි ඇතුන් 40කට අධික සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් සහ විවිධ සංස්කෘතික අංගයන්ගෙන් මෙවර පෙරහැර අලංකෘත වී ඇත.
උත්සවයේ අවසන් රන්දෝලි මහ පෙරහැර අද (15) රාත්‍රී වීථි සංචාරය කිරීමට නියමිතය. අනතුරුව අගෝස්තු 16 වැනිදා දිය කැපීමේ චාරිත්‍රය සහ දේව දානය පිරිනැමීමෙන් අනතුරුව මෙවර වාර්ෂික ඇසළ පුණ්‍යෝත්සවය නිමාවට පත්වීමට නියමිත බව විහාරස්ථ පෙරහැර කමිටුව පවසයි.
