ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමේ ජාතික වැඩපිළිවෙළට සමගාමීව, ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යවසායකයින් පිරිසක් මෙරට විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සෘජු ආයෝජන සිදු කිරීමට කැමැත්ත පළ කර ඇත. වික්ටෝරියා ප්‍රාන්තයේ පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම එකඟතාවන්ට එළඹුණු අතර, ඒ සඳහා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ඇතුළු රාජ්‍ය දූත පිරිසක් එක්ව සිටියහ.
මෙම ආයෝජන ව්‍යාපෘති අතර තිරසාර බලශක්ති විසඳුම් සහ ඇඟලුම් ක්ෂේත්‍රයේ ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලීන් ස්ථාපිත කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමුව තිබේ. එසේම, දෙනුන් 2,000ක ධාරිතාවකින් යුත් නවීන කිරි ගොවිපළක් සහ පශු සම්පත් අභිජනන ව්‍යාපෘතියක් දියත් කිරීමට නියමිතය.
එමෙන්ම, ඒකල කාර්මික ජනපදය කේන්ද්‍ර කරගනිමින් ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය හා ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය භාවිතයෙන් උපාංග නිෂ්පාදනය කිරීමටත්, මාරවිල ප්‍රදේශයේ පරිසර හිතකාමී සංචාරක හෝටල් ව්‍යාපෘති සහ ආහාර සැකසුම් කර්මාන්ත ඇතුළු ක්ෂේත්‍ර රැසක් සඳහා ආයෝජන සිදු කිරීමට එකඟතාව පළ වී ඇත.
වත්මන් රජය යටතේ මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ ගොඩනැගී ඇති විනිවිදභාවය සහ විශ්වාසනීයත්වය පිළිබඳව ඕස්ට්‍රේලියානු ආයෝජකයින් සිය ප්‍රසාදය පළ කළහ. මෙම ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය ඉදිරි පියවර ගැනීමට දෙපාර්ශවයම එකඟ වී තිබේ.
