රටේ අනාගත පරපුර වෙනුවෙන් දරුවන් කෙරෙහි සංවේදී සමාජයක් නිර්මාණය කිරීමේ වගකීම සියලු පාර්ශ්වයන් සතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි. ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවති උත්සවයකදී ඇය මේ බව අවධාරණය කළේ, ජාතික මුල් ළමාවිය අධ්‍යාපන විෂයමාලා රාමුවට අනුකූලව සකස් කළ නව ගුරු මාර්ගෝපදේශ සහ ක්‍රියාකාරකම් සංග්‍රහය එළිදක්වමිනි.
“සෑම දරුවෙකුටම නිවැරදි ආරම්භයක්” යන තේමාව යටතේ මෙම මාර්ගෝපදේශ මාලාව සකස් කර ඇත. ගුරු මාර්ගෝපදේශ, ක්‍රියාකාරකම් අත්පොත් සහ පුහුණු ද්‍රව්‍ය ඇතුළු ක්ෂේත්‍ර හතරක් ඔස්සේ මෙය ක්‍රියාත්මක වේ. දරුවා කේන්ද්‍ර කරගත් ගවේෂණාත්මක අධ්‍යාපන ක්‍රමවේදයක් රට තුළ ස්ථාපිත කිරීම මෙහි මූලික අරමුණයි.
මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී නිවැරදි පසුවිපරමක යෙදීම පළාත් අධ්‍යාපන බලධාරීන්ගේ වගකීමක් බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය. එසේම, ගුරුවරුන් පුහුණු කරනවා සේම දරුවන්ට සැලකිය යුතු ආකාරය පිළිබඳව දෙමාපියන් දැනුවත් කිරීමේ වැදගත්කමද ඇය සිහිපත් කළාය.
කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සඳහන් කළේ, 2027 වසර වන විට විශ්වාසනීය පෙරපාසල් පද්ධතියක් දීපව්‍යාප්තව ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන බවයි. අධ්‍යාපන අමාත්‍යාංශය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සහ යුනිසෙෆ් (UNICEF) සංවිධානයේ ඒකාබද්ධ දායකත්වයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.
