අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් ලක්ෂ 8ක් වටිනා පාසල් පෙළපොත් තොගයක් රුපියල් 47,000ක මුදලකට පිටස්තර පුද්ගලයෙකුට අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුවන් කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඔවුන් ලබන 25 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබේ.

පළමු ශ්‍රේණියට අදාළ දෙමළ භාෂා ක්‍රියාකාරකම් පොත් 19,892ක් අතුරුදහන් වී ඇති බවට අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරිනියක විසින් තලංගම පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත මෙම විමර්ශන ආරම්භ කෙරිණි.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, අදාළ පෙළපොත් තොගය ප්‍රවාහනය කළ ලොරි රථයේ රියදුරු විසින් එම පොත් පරණ කඩදාසි සහ බෝතල් මිලදී ගන්නා වෙළෙන්දෙකුට විකුණා මුදල් ලබාගෙන ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version