ජාත්‍යන්තර සිනමා ක්ෂේත්රයේ අවධානය දිනාගත් සම්මානලාභී අධ්යක්ෂ සංජීව පුෂ්පකුමාරගේ නවතම සිනමා නිර්මාණය වන ‘විහඟ ප්‍රේමය’ මේ දිනවල දිවයින පුරා සිනමාහල් රැසක තිරගත කෙරේ.
මෙම චිත්‍රපටය හරහා සමාජයේ කතාබහට ලක්නොවුණු වෙනස්ම මාතෘකාවක් ස්පර්ශ කිරීමට උත්සාහ කළ බව අධ්යක්ෂවරයා පවසයි. විදේශගත වන ශ්‍රී ලංකික තරුණියකගේ පුවතකින් සහ තම පෞද්ගලික අත්දැකීම්වලින් ආභාසය ලැබූ මෙම කතාව, පුළුල් සමාජ යථාර්ථයක් නිරූපණය කරන කැඩපතක් බවට පත් කර ඇති බව ඔහු සඳහන් කරයි.
චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතුවලදී සහ රූගත කිරීම්වලදී විවිධ අභියෝගවලට මුහුණ දීමට සිදු වූ බව අධ්යක්ෂවරයා පෙන්වා දෙයි. විශේෂයෙන්ම කොරෝනා වසංගත සමයේ පැනනැඟුණු සීමා මධ්‍යයේ, ඉතාලි ජාතික නළුවෙකු මෙරටට ගෙන්වා ගැනීම මෙන්ම කුඩා දරුවන් සහ දර්ශනතල සොයා ගැනීම අසීරු කාර්යයක් වූ බව හෙතෙම කියා සිටියේය.
ප්‍රධාන චරිතය සඳහා ප්‍රවීණ රංගන ශිල්පී සබීතා පෙරේරා තෝරා ගැනීම විශේෂිත වූවක් බවත්, චරිතයේ බාහිර ස්වරූපය මෙන්ම අභ්‍යන්තර ප්රකාශනය මැනවින් මතු කිරීමට ඇයට ඇති හැකියාව මීට මුල් වූ බවත් අධ්යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය. චිත්‍රපටයේ මංගල සහ මාධ්‍ය දර්ශන වටා එක්වූ නරඹන්නන්ගෙන් යහපත් ප්‍රතිචාර ලැබී ඇති බව ඔහු පවසයි.
