ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය අද (18) සිට 28 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. ඒ වෙනුවෙන් නගරයට පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සහ ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් නවීන සජීවී තොරතුරු කළමනාකරණ පද්ධතියක් දියත් කර ඇත.
මෙම පද්ධතිය ඔස්සේ පෙරහර ගමන් කරන මාර්ග, රථවාහන නැවැත්වීමේ ස්ථාන, සනීපාරක්ෂක පහසුකම් සහ අතරමං වූවන් සොයාගත හැකි ස්ථාන පිළිබඳ යාවත්කාලීන තොරතුරු මහජනතාවට ලබාගත හැකිය. පෙරහර නැරඹීමට සුදුසු ස්ථාන පිළිබඳවද මෙයින් මඟ පෙන්වීම් සිදු කෙරේ.
මෙම සේවාව ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසියේ නිල වෙබ් අඩවිය වන www.police.lk වෙත පිවිස “මහනුවර ඇසළ පෙරහර” සබැඳිය තෝරාගත යුතුය. ජංගම දුරකථනයක්, ටැබ් යන්ත්‍රයක් හෝ පරිගණකයක් භාවිතා කර ඕනෑම ස්ථානයක සිට මෙම සේවාව භාවිත කළ හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා සඳහන් කළේය.
පෙරහර සමයේදී මාර්ග බාධක, විශේෂ රථවාහන සැලසුම් සහ ආරක්ෂක රාජකාරි ක්‍රියාත්මක කෙරෙන බැවින්, මෙම සජීවී පද්ධතිය භාවිත කිරීම මගින් කාලය ඉතිරි කර ගැනීමට සහ අනවශ්‍ය රථවාහන තදබද අවම කර ගැනීමට මහජනතාවට අවස්ථාව උදාවේ. බැතිමතුන්ගේ ආරක්ෂාව සහ පහසුව වෙනුවෙන් මෙම තාක්ෂණික සේවාව උපරිමයෙන් භාවිත කරන ලෙස පොලිසිය වැඩිදුරටත් ඉල්ලා සිටී.
