ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස එයාර් වයිස් මාර්ෂල් පද්මන් ද කොස්තා මහතා පත් කර තිබේ. ඒ සඳහා වන පත්වීම් ලිපිය ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා විසින් අද (18) ගුවන් හමුදා මූලස්ථානයේදී නිල වශයෙන් භාර දෙනු ලැබීය.

1993 වසරේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්වූ පද්මන් ද කොස්තා මහතා, පරිපාලන ශාඛාවේ නිලධාරියෙකු ලෙස සිය සේවය ආරම්භ කළේය. කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකු වන ඒ මහතා ජාතික ආරක්ෂක සහ උපායමාර්ගික අධ්‍යයන පිළිබඳ උපාධිධාරියෙකි.

ඔහු සිය වෘත්තීය දිවිය තුළ ගුවන් හමුදාපතිවරුන් තිදෙනෙකු යටතේ පරිපාලන මාණ්ඩලික නිලධාරියා ලෙසත්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීගේ ලේකම්වරයා ලෙසත් කටයුතු කර ඇත. තවද, ජාතික ආරක්ෂක විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයෙකු ලෙස සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධීකරණ නිලධාරියෙකු ලෙස ද ඔහු සේවය කර තිබේ.

ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ ද කැපී පෙනෙන දක්ෂතා දක්වා ඇති ඒ මහතා, ගුවන් හමුදා වොලිබෝල් කණ්ඩායම නියෝජනය කරමින් ජාතික මට්ටමේ ජයග්‍රහණ ලබා ගැනීමට දායක වී ඇත. දැනට ඔහු ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලයේ වොලිබෝල් කමිටුවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version