ආපදා අවස්ථාවලදී මතුවන ගැටලු වලට සාර්ථකව මුහුණ දීම සහ ප්‍රජාව සවිබල ගැන්වීම අරමුණු කරගත් විශේෂ පුහුණු වැඩසටහන් මාලාවක් මහනුවර දිස්ත්‍රික්කයෙන් ආරම්භ විය. සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර වෛද්‍ය හර්ෂ සුරංග යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සමාරම්භක වැඩසටහන පැවැත්විණි.
සෞඛ්‍ය, ජනමාධ්‍ය, අධිකරණ සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශ ත්‍රිත්වයේ ඒකාබද්ධ දායකත්වයෙන් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන සඳහා යුනිසෙෆ් (UNICEF) සහ ලෝක බැංකුවේ වසංගත අරමුදල (The Pandemic Fund) සහය ලබා දෙයි. දිස්ත්‍රික්ක දහයක් නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් මෙම සමාරම්භක අවස්ථාවට එක්ව සිටියහ.
මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ ප්‍රජාවට තම ප්‍රදේශයට ආවේණික ආපදා අවදානම් හඳුනා ගැනීමට සහ ආපදා අවස්ථාවකදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ දැනුම ලබා දීමයි. ඉදිරියේදී දිවයින පුරා ග්‍රාම නිලධාරී වසම් 1000ක් ආවරණය කරමින් පුද්ගලයින් 20,000ක් පුහුණු කිරීමට සැලසුම් කර ඇත.
වැඩසටහනට එක්වෙමින් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ස්වභාවික ආපදා සහ වසංගත තත්ත්වයන් හමුවේ ප්‍රජාවගේ දායකත්වය ඉහළ මට්ටමක පැවතියද, පූර්ව සූදානමක අවශ්‍යතාවය පවතින බවයි. විශේෂයෙන්ම දේශගුණික විපර්යාස හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇති විය හැකි අවදානම් අවම කර ගැනීමට ප්‍රජා මට්ටමින් ශක්තිමත් නායකත්වයක් සහ සැලසුම් සකස් කිරීම අත්‍යවශ්‍ය බව ඔහු අවධාරණය කළේය.
මෙම වැඩසටහන අගෝස්තු සහ සැප්තැම්බර් මාසයන් තුළ අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක වීමට නියමිතය. පුහුණු වැඩසටහන් අවසානයේ එහි ප්‍රගතිය පසුවිපරම් කිරීමටත්, සාර්ථකව ක්‍රියාත්මක වන ග්‍රාම නිලධාරී වසම් ඇගයීමට ලක් කිරීමටත් රජය අපේක්ෂා කරයි.
