ඕමාන සුල්තාන් රාජ්‍යයේ වාණිජ, කර්මාන්ත සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ විදේශ වෙළෙඳ සහ ජාත්‍යන්තර සහයෝගිතා උපදේශක පන්කජ් කිම්ජි මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අතර විශේෂ හමුවක් අරලියගහ මන්දිරයේදී සිදුවිය.
මෙම සාකච්ඡාවේදී දෙරට අතර පවතින ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සහ ශ්‍රී ලංකාව තුළ පවතින ආයෝජන අවස්ථා පුළුල් කිරීම පිළිබඳව අවධානය යොමු කෙරිණි. ශ්‍රී ලංකාවේ පවතින ව්‍යාපාරික හිතකාමී වාතාවරණය පිළිබඳව මෙහිදී විශේෂයෙන් සාකච්ඡා විය.
ශ්‍රී ලංකාවේ තෝරාගත් ව්‍යාපෘති සඳහා මූල්‍ය දායකත්වය ලබා දීමට සහ නව ආයෝජන අවස්ථා ගවේෂණය කිරීමට ඕමානය උනන්දුවක් දක්වන බව පන්කජ් කිම්ජි මහතා සඳහන් කළේය. අග්‍රාමාත්‍යවරිය විසින් ඕමාන ආයෝජකයින් ශ්‍රී ලංකාවට ආරාධනා කරමින්, දෙරටේ ව්‍යාපාරික ප්‍රජාවන් අතර සබඳතා වර්ධනය කර ගැනීමේ වැදගත්කම අවධාරණය කළාය.
දෙරටේ පෞද්ගලික අංශයේ සහයෝගිතාව වැඩිදියුණු කිරීමේ අරමුණින් ‘ශ්‍රී ලංකා – ඕමාන් ව්‍යාපාරික කවුන්සිලයක්’ ස්ථාපිත කිරීමේ යෝජනාවක් ද මෙහිදී ඉදිරිපත් විය. මෙමගින් ව්‍යාපාරික කටයුතු පහසු කිරීම සහ නව වෙළෙඳ ක්ෂේත්‍ර හඳුනා ගැනීම අපේක්ෂා කෙරේ.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඕමාන තානාපති අහමඩ් අල්-රෂිඩි මහතා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහ අග්‍රාමාත්‍ය කාර්යාලයේ නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ.
