මෙම වසර අවසන් වීමට පෙර සියලුම ධීවර නිලධාරීන් සඳහා විදුලි යතුරුපැදි ලබා දීමට කටයුතු කරන බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ප්‍රකාශ කළේය. ධීවර ක්ෂේත්‍රයට අලුතින් බඳවා ගත් නිලධාරීන් 112 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
නව පත්වීම් ලබාදුන් නිලධාරීන් අමතා අදහස් දැක්වූ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, මෙම බඳවා ගැනීම් කිසිදු දේශපාලන නිර්දේශයකින් තොරව, නිසි බඳවා ගැනීමේ පටිපාටියට අනුකූලව සිදුකර ඇති බවයි. දක්ෂතා මත පදනම්ව සිදුකළ මෙම පත්වීම්වලදී කිසිදු පක්ෂ භේදයක් නොසැලකූ බවද ඔහු අවධාරණය කළේය.
නව නිලධාරීන් සතු තාක්ෂණික දැනුම සහ ඩිජිටල් අත්දැකීම් ධීවර ක්ෂේත්‍රයේ දියුණුව සඳහා යොදා ගන්නා ලෙස අමාත්‍යවරයා ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය. ධීවර ප්‍රජාවට නවීන තාක්ෂණය පිළිබඳ දැනුම ලබා දීමේ වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමේ වගකීම ඔවුන් සතු බවද ඔහු පෙන්වා දුන්නේය.
තවද, වත්මන් රජයේ අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් කිසිදු වරප්‍රසාදයක් හෝ අමතර ආරක්ෂාවක් බලාපොරොත්තු නොවන බවත්, ජනතා මුදල් උපරිමයෙන් සුරකිමින් නාස්තියෙන් තොර පාලනයක් පවත්වාගෙන යන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
