පවතින ආර්ථික අභියෝග සහ උද්ධමනකාරී පීඩන මධ්‍යයේ වුවද, හැටන් නැෂනල් බැංකුව (HNB) විසින් 2026 ජූනි මාසයෙන් අවසන් වූ මාස හය සඳහා සාර්ථක මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කර තිබේ.

ඒ අනුව අදාළ කාල සීමාව තුළ බැංකුව රුපියල් බිලියන 23.1 ක බදු පසු ලාබයක් (PAT) වාර්තා කර ඇති අතර, සමස්ත HNB සමූහයේ බදු පසු ලාබය රුපියල් බිලියන 22.5 ක් ලෙස සටහන් වී ඇත.

මෙම මූල්‍ය ප්‍රතිඵල මගින් බැංකුවේ ශක්තිමත් ශේෂ පත්‍ර වර්ධනය මැනවින් පෙන්නුම් කරන අතර, වසරේ පළමු අර්ධය තුළ බැංකුවේ ණය සහ අත්තිකාරම් සේවා රුපියල් බිලියන 224 කින් ඉහළ ගොස් තිබේ. එමෙන්ම, තැන්පතු ප්‍රමාණය රුපියල් බිලියන 138 කින් වර්ධනය වී ඇති බව වාර්තා වේ.

ශුද්ධ පොලී ආදායම මෙන්ම පොලී නොවන ආදායම් මාර්ග ද ඉහළ යෑම හේතුවෙන් බැංකුවේ සමස්ත මෙහෙයුම් ආදායම පෙර වසරට සාපේක්ෂව සියයට 27 කින් වර්ධනය වී රුපියල් බිලියන 76.7 ක් දක්වා ඉහළ ගොස් ඇත.

විචක්ෂණශීලී වියදම් කළමනාකරණ ක්‍රියාමාර්ග හේතුවෙන් 2025 වසරේ සියයට 38.56 ක් ලෙස පැවති වාර්ෂික පිරිවැය-ආදායම් අනුපාතය, 2026 පළමු අර්ධයේදී සියයට 34.48 ක් දක්වා අඩු කර ගැනීමට බැංකුව සමත්ව ඇත.

මෙම ප්‍රශස්ත මූල්‍ය තත්ත්වයත් සමඟ බැංකුවේ මුළු වත්කම් පදනම රුපියල් ට්‍රිලියන 2.55 ඉක්මවා ගොස් ඇති අතර, ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය සහ උපායමාර්ගික ක්‍රියාමාර්ග අඛණ්ඩ ස්ථාවරත්වයක් පවත්වා ගැනීමට ඉවහල් වූ බව බැංකු ප්‍රධානීහු පෙන්වා දෙති.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version