ජාත්‍යන්තර බුද්ධි අංශ සහ ඩුබායි රාජ්‍ය ආරක්ෂක අංශ එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකින් අනතුරුව මෙරටට භාරදුන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සිරාන් බාසික් මේ වන විට දින 90ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කෙරෙමින් පවතී. ඔහු සතු මත්ද්‍රව්‍ය ජාලය සහ කළු සල්ලි සුදු කිරීමේ ක්‍රියාවලිය සමාජයේ ඉහළම ස්ථරයන් දක්වා විහිදී ඇති බවට තොරතුරු අනාවරණය වෙමින් තිබේ.

විමර්ශනවලට අනුව, බාසික්ගේ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ලැබුණු මුදල් දේශපාලන පක්ෂ අරමුදල් වෙත මෙන්ම ඇතැම් ආගමික ස්ථානවල සුබසාධන කටයුතු සඳහා ද යොදවා ඇති බව හෙළිවී ඇත. මීට අමතරව, පොලිස් නිලධාරීන්, ප්‍රසිද්ධ නළු නිළියන් සහ දේශපාලනඥයන් රැසක් මෙම ජාවාරම සමඟ සෘජුව හෝ වක්‍රව සම්බන්ධ වී ඇති බවට තොරතුරු ලැබෙමින් පවතී.

කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් බාසික්ගේ බැංකු ගිණුම් සහ දුරකථන වාර්තා පරීක්ෂා කිරීම ආරම්භ කර ඇත. කොළඹ මැරීන් ඩ්‍රයිව් ප්‍රදේශයේ ඔහු සතු හෝටල් කිහිපයක් සහ ඔහුගේ පුත්‍රයාගේ නමින් මිලදී ගත් දේපළ සම්බන්ධයෙන් ද නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් පරීක්ෂණ පවත්වයි.

මේ අතර, බාසික්ගේ ජාලයට අමතරව ‘වනාතේ චතූ’ වැනි සංවිධානාත්මක අපරාධකරුවන් විසින් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සිදුකළ මනුෂ්‍ය ඝාතන, වෙඩි තැබීම් සහ කප්පම් ගැනීම් සම්බන්ධයෙන් ද පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක වේ. මත්ද්‍රව්‍ය ජාලයේ පහළ ස්ථරයේ සිට ඉහළ ස්ථරය දක්වාම මෙම සමාජ ශෝධන ක්‍රියාවලිය හරහා නීතිය ක්‍රියාත්මක කිරීමට බලධාරීන් පියවර ගනිමින් සිටී.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version