පළාත් මට්ටමින් මේ වන විට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති 30,923ක ප්‍රගතිය සහ ඉදිරි 2027 වසර සඳහා අයවැය සැකසීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණි. මෙහිදී අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකර්ම සහ වාරිමාර්ග ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක ප්‍රගතිය පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු විමසා බැලීය.

මධ්‍යම රජයේ ජාතික ප්‍රතිපත්තිවලට අනුකූලව පළාත් සභා මට්ටමින් ව්‍යාපෘති සැලසුම් කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා අවධාරණය කළේය. ව්‍යාපෘති ද්වීකරණය වීම වැළැක්වීම සඳහා දත්ත හුවමාරුව සහ ආයතන අතර සම්බන්ධීකරණය වඩාත් කාර්යක්ෂම විය යුතු බවත්, එමගින් සම්පත් නාස්තිය අවම කරගත හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.

විදේශ ණය සහ ආධාර යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති නියමිත කාලයට අවසන් කර එහි ප්‍රතිලාභ ජනතාවට ලබා දීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. දැඩි මූල්‍ය විනයක් පවත්වා ගනිමින්, නොවැම්බර් මාසය වන විට 2027 වසරේ ව්‍යාපෘති සැලසුම් සකස් කර අවසන් කරන ලෙස උපදෙස් ලබා දී ඇත.

එල්-නිනෝ තත්ත්වයට මුහුණ දීම සඳහා කුඩා සහ මධ්‍ය පරිමාණ වැව් ප්‍රතිසංස්කරණය කඩිනම් කිරීමේ වැදගත්කම ද මෙහිදී සාකච්ඡාවට ලක්විය. තවද, සිසුන් 50ට අඩු පාසල් ඒකාබද්ධ කිරීමේ වැඩපිළිවෙළේදී දරුවන්ට අසාධාරණයක් නොවන පරිදි ප්‍රවාහන පහසුකම් ඇතුළු අවශ්‍ය සහන සැලසීමට රජය සූදානම් බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

පළාත් සභාවල පවතින තාක්ෂණික නිලධාරීන්ගේ හිඟයට විසඳුමක් ලෙස ඔවුන් බඳවා ගැනීම සහ පුහුණු කිරීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. ආපදා කළමනාකරණය සඳහා වෙන් කළ ප්‍රතිපාදන උපරිමයෙන් ප්‍රයෝජනයට ගනිමින් ව්‍යාපෘති කඩිනම් කරන ලෙස ද මෙහිදී අවධාරණය කෙරිණි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version