කොළඹ ජාතික රෝහලේ හෘද හා උරස් සැත්කම් සඳහා පවතින රෝගීන්ගේ පොරොත්තු ලේඛනය අවම කිරීමේ අරමුණින්, සේවා පුළුල් කිරීම සඳහා වූ ත්‍රෛපාර්ශ්වික අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ. ආරක්ෂක අමාත්‍යාංශය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (KDU) අතර මෙම ගිවිසුම අත්සන් තැබිණි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් යෝජනාවකට අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. ඒ අනුව, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ පවතින නවීන පහසුකම් සහ උපකරණ භාවිත කරමින් රෝගීන්ට නොමිලේ හෘද සැත්කම් සිදු කිරීමට නියමිතය.
ගිවිසුමට අනුව, ජාතික රෝහලේ හෘද හා උරස් සැත්කම් ඒකකයේ විශේෂඥ වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය විසින් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේදී සැත්කම් සිදු කරනු ඇත. ඊට අවශ්‍ය වෛද්‍ය උපකරණ සහ යටිතල පහසුකම් විශ්වවිද්‍යාලය විසින් සපයනු ලබන අතර, අවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය සැපයුම් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබා දෙනු ඇත.
ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත (විශ්‍රාමික), සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති රියර් අද්මිරාල් එච්. ජී. යූ. ධම්මික කුමාර යන මහත්වරුන් විසින් මෙම ගිවිසුමට අත්සන් තබන ලදී.
මෙම වැඩසටහන මගින් හෘද රෝගීන්ට ඉතා ඉක්මනින් ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාව උදාවන බවත්, රෝහල්වල පවතින තදබදය අවම කර ගැනීමට මෙය විශාල පිටුවහලක් වන බවත් ආරක්ෂක ලේකම්වරයා මෙහිදී සඳහන් කළේය.
