ජාතීන් අතර මිත්‍රත්වය ගොඩනැගීම හුදු වචනයකට පමණක් සීමා නොවී, එය ක්‍රියාවෙන්ද ඔප්පු කළ යුතු බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අවධාරණය කළේය. යුද්ධයෙන් විනාශ වූ ගොඩනැගිලි යළි ගොඩනැගීමට වඩා, යුද්ධය නිසා බිඳී ගිය සිත් සුවපත් කිරීමට වැඩි කාලයක් ගතවන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

කිලිනොච්චිය පරන්තන් ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. සෙන්චෝලේ ඛේදවාචකයට මුහුණ දුන් පවුල් 18ක් සහ අතුරුදන් වූවන්ගේ පවුල් 3ක් සඳහා නිවාස ඉදිකිරීමට අවශ්‍ය මූල්‍ය ආධාර සහ ඉඩම් ලබාදීමේ වැඩසටහනක මූලික අදියර මෙහිදී ක්‍රියාත්මක කෙරිණි.

එම පවුල් වෙත රුපියල් ලක්ෂ 50 බැගින් වූ චෙක්පත් සහ අක්කර භාගයක ඉඩම් සඳහා අදාළ ලිපි ලේඛන පිරිනැමීම සිදු විය. මීට අමතරව, එම ඉඩම්වල වගා කටයුතු සඳහා පොල් පැළ බෙදාදීමද සංකේතාත්මකව සිදුවිය.

යුද්ධයෙන් ජයග්‍රාහකයෙකු නොමැති බවත්, ඉතිරි වන්නේ කටුක අත්දැකීම් පමණක් බවත් අමාත්‍යවරයා පැවසීය. වත්මන් රජය උතුර සහ දකුණ ලෙස භේදයකින් තොරව කටයුතු කරන බවත්, අතුරුදන් වූවන්ගේ පවුල්වලට සාධාරණය ඉටු කිරීමට රජය කැපවී සිටින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version