පසුගිය දිට්වා ආපදාව හේතුවෙන් අර්ධ වශයෙන් හානියට පත් කොලොන්නාව ආසනයේ නිවාස හිමියන් සඳහා වන්දි ලබා දීමේ වැඩසටහනේ තවත් අදියරක් සාර්ථකව අවසන් විය. ඒ අනුව, සුදුසුකම් ලැබූ නිවාස හිමියන් 3,552 දෙනෙකු වෙත රුපියල් ලක්ෂ තුන බැගින් වටිනා චෙක්පත් ප්රදානය කිරීම පසුගිය 24 සහ 25 යන දිනවලදී සිදු කෙරිණි.
මෙම වන්දි ප්රදානය කොලොන්නාව පුරාණ රජමහා විහාරස්ථානය සහ ගොතටුව කන්දේ විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විණි. ආපදාවෙන් පීඩාවට පත් ග්‍රාම සේවා වසම් විසිනවයක පදිංචි පවුල් සඳහා මෙම සහන මුදල් ලබා දීම සිදු විය.
කොලොන්නාව ආසනයේ සමස්ත ග්‍රාම සේවා වසම් 46ක ජනතාව මෙම ආපදාවෙන් බලපෑමට ලක්වූ අතර, මීට පෙර නිවාස හිමියන් 13,700 දෙනෙකු සඳහා පළමු වාරිකය ලෙස වන්දි මුදල් පිරිනමා අවසන් කර ඇත.
වෙන්නවත්ත, මුල්ලේරියාව, කිත්තම්පහුව, කැලණිමුල්ල සහ සේදවත්ත ඇතුළු ප්‍රදේශ රැසක ජනතාව මෙවර වන්දි හිමිකර ගත්හ. මෙම අවස්ථාව සඳහා ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් සහ වන්දිලාභී ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ.
