අම්බලන්ගොඩ ප්‍රදේශයේදී ජාතික හැඳුනුම්පතක් නොමැති බව පවසමින් අත්අඩංගුවට ගත් 61 හැවිරිදි පුද්ගලයෙකු බලපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. පොලිස් අත්අඩංගුවේ සිටියදී ඔහුට අමානුෂික ලෙස පහරදී ඇති බවට මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ද වීඩියෝ දර්ශන සංසරණය වෙමින් පවතී.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අම්බලන්ගොඩ නගර සභා සභාපති අසේල ප්‍රසන්න ගොඩහේවා මහතා පවසන්නේ, තමන් පොලිසියට යන විටත් අදාළ පුද්ගලයා ලේ පෙරාගෙන සිටි බවයි. පොලිසිය විසින් ඔහුට පහරදුන් බවට තමන් සතුව සාක්ෂි ඇති බවත්, සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන් වෙත පැමිණිලි කර ඇති බවත් ඔහු සඳහන් කරයි.

කෙසේ වෙතත්, අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරී බුද්ධික කෝදාගොඩ මහතා මෙම චෝදනා ප්‍රතික්ෂේප කරයි. අදාළ පුද්ගලයා බීමත්ව සිටි බවත්, ඔහු ඇද වැටීම හේතුවෙන් මුඛයට තුවාල සිදුවී ලේ ගැලීමක් සිදුව ඇති බවත් පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

පහරකෑමට ලක්වූ බව කියන පුද්ගලයා මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍යවරුන්ගේ අවධානය යොමුව ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version