චෙස් ක්‍රීඩාවේ ලෝක ශූරයෙකු ලෙස පස් වතාවක් කිරුළු පැළඳි නෝර්වීජියානු ජාතික මැග්නස් කාල්සන් පරාජය කිරීමට 15 හැවිරිදි ඉන්දීය ක්‍රීඩක වැන්දන් අලංකාර් සවායි සමත්ව තිබේ. ‘Titled Tuesday’ මාර්ගගත චෙස් තරඟාවලිය අතරතුර මෙම විශිෂ්ට ජයග්‍රහණය වාර්තා විය.
තරඟයේ පියවර 50ක් අවසානයේ 2,288ක ශ්‍රේණිගත කිරීමක් හිමි වැන්දන් විසින් 2,823ක ශ්‍රේණිගත කිරීමක් සහිත කාල්සන් පරාජය කිරීම චෙස් ලෝකයේම අවධානය දිනාගත් පුවතක් විය. මෙම ජයග්‍රහණය කෙතරම් විස්මිත වූයේද යත්, එය සිදුවූ වහාම වැන්දන් ඒ පිළිබඳව තම දෙමාපියන්ට හෝ පුහුණුකරුට පවා පවසා නොතිබුණි.
පසුව තම පියා අන්තර්ජාලය ඔස්සේ තරඟයේ ප්‍රතිඵල නිරීක්ෂණය කර විමසූ අවස්ථාවේදී පමණක් ඔහු තමා ලැබූ ජයග්‍රහණය ගැන පවසා ඇත. තරඟයට සහභාගී වීමට මුලින් අකමැත්තක් දැක්වූ වැන්දන්ව, දෙමාපියන්ගේ බල කිරීම මත තරඟයට යොමු කර තිබීමද විශේෂත්වයකි.
සංයමයෙන් කටයුතු කරන ක්‍රීඩකයෙකු ලෙස ප්‍රසිද්ධ වැන්දන්, මෙම තරඟාවලියේ හතරවන වටයෙන් පසු වෙහෙස හේතුවෙන් තරඟාවලියෙන් ඉවත් වී ඇත. කෙසේ වෙතත්, ලෝක ශූරයෙකු පරාජය කිරීම ඔහුගේ තරුණ චෙස් දිවියේ සුවිශේෂීම ජයග්‍රහණයක් ලෙස සටහන් විය.
