ෆේස්බුක් ඇතුළු ප්‍රමුඛ පෙළේ සමාජ මාධ්‍ය ජාල තුළ විවිධ සමූහ නිර්මාණය කරගනිමින්, ළමුන්ගේ සහ කාන්තාවන්ගේ පෞද්ගලික ඡායාරූප මෙන්ම ලිංගික දර්ශන මුදලට අලෙවි කිරීමේ සහ මිලදී ගැනීමේ ඔන්ලයින් ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ. ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය පවසන්නේ මෙම තත්ත්වය සම්බන්ධයෙන් තමන් දැඩි අවධානයක් යොමු කර ඇති බවයි.

මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ, ව්‍යාජ ගිණුම් හරහා පවුලේ සාමාජිකයන්ගේ හෝ සමීපතමයන්ගේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන මෙලෙස අලෙවි කිරීමට ඇතැම් පිරිස් උත්සාහ දරන බවයි. මෙම ජාවාරම්වලින් බහුතරයක් විදේශ රටවල සිට මෙහෙයවනු ලබන බවටද හඳුනාගෙන ඇත.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, තම දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සහ ඔවුන් ඇසුරු කරන මිතුරන් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටී. පවුලේ අයෙකු මෙවැනි ජාවාරමක ගොදුරක් වී ඇත්නම් හෝ ඊට ඇබ්බැහි වී ඇත්නම්, වහාම ඔවුන් මනෝ සමාජයීය උපදේශනය වෙත යොමු කරන ලෙස අමාත්‍යාංශය උපදෙස් දෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය සහ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත දැනුම් දී ඇති අතර, නීතිමය සහය ලබා ගැනීම සඳහා 1938 සහ 1929 යන ගාස්තු රහිත දුරකථන අංක ඇමතිය හැකි බව වැඩිදුරටත් සඳහන් වේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version