ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක වන පෝෂණ වැඩසටහන් වඩාත් කාර්යක්ෂම කිරීම සහ ඒවා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ලෝක ආහාර වැඩසටහන (WFP) සිය සහයෝගය අඛණ්ඩව ලබා දෙන බව ප්‍රකාශ කර තිබේ.

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ ලෝක ආහාර වැඩසටහනේ නියෝජිතයින් අතර අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාව පළ විය.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, පාසල් පෝෂණ වැඩසටහන යනු හුදෙක් නොමිලේ ආහාර වේලක් ලබා දීම පමණක් නොව, දරුවන් අතර සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු ඇති කිරීම සහ පෝෂණ දැනුවත්භාවය ඉහළ නැංවීම අරමුණු කරගත් වැඩසටහනක් විය යුතු බවයි.

විශේෂයෙන්ම බෝ නොවන රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පාසල් මට්ටමින් පෝෂණ මැදිහත්වීම් සිදු කිරීමේ වැදගත්කම අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය. පෝෂණ ප්‍රතිපත්ති සකස් කිරීමේදී පර්යේෂණ සහ සාක්ෂි මත පදනම් වූ දත්තවලට මුල්තැන දිය යුතු බවද ඇය පෙන්වා දුන්නාය.

ලෝක ආහාර වැඩසටහනේ නියෝජිතයින් පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක පෝෂණ වැඩසටහන්වල සිදුවන ධනාත්මක වෙනස්කම් අගය කරන බවයි. ඉදිරියේදී විශ්වවිද්‍යාල, අධ්‍යාපන අමාත්‍යාංශය සහ අනෙකුත් පාර්ශවකරුවන් සමඟ එක්ව මෙම වැඩසටහන්වල බලපෑම තවදුරටත් පුළුල් කිරීමට කටයුතු කරන බවද ඔවුන් පැවසූහ.

මෙම අවස්ථාවට ලෝක ආහාර වැඩසටහනේ ශ්‍රී ලංකා නියෝජිත සහ රටේ අධ්‍යක්ෂ පිලිප් වෝඩ් මහතා ඇතුළු නියෝජිතයින් පිරිසක් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් එක්ව සිටියහ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version