UNCCD COP17 සමුළුවට සමගාමීව පැවති විශේෂ හමුවකදී ශ්‍රී ලංකාවේ පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා සහ මොංගෝලියාවේ පරිසර හා දේශගුණික විපර්යාස පිළිබඳ අමාත්‍ය සැන්ඩාග්-ඔචිර් සෙන්ඩ් මහතා අතර මෙම ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්විණි.

දෙරටටම බලපාන භූමි හායනය, නියඟය, ජල හිඟය සහ පරිසර පද්ධති අවදානම් වැනි පොදු අභියෝග ජය ගැනීම සඳහා දැනුම, තාක්ෂණය සහ අත්දැකීම් හුවමාරු කර ගැනීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරිණි.

විශේෂයෙන්ම 2030 වසර වන විට භූමි හායනය උදාසීන කිරීමේ (LDN) ඉලක්ක සපුරා ගැනීම, තිරසර ජල කළමනාකරණය, වන සම්පත් සහ වනජීවී සංරක්ෂණය යන ක්ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනය කර ගැනීමට දෙපාර්ශවය එකඟතාව පළ කර ඇත.

දේශගුණික මූල්‍ය පහසුකම් ලබා ගැනීම, තාක්ෂණික සහයෝගීතාව සහ ධාරිතා සංවර්ධනය ශක්තිමත් කිරීම මගින් ආසියා-පැසිෆික් කලාපයේ පාරිසරික ප්‍රමුඛතා ඉදිරියට ගෙන යාමට මෙම හවුල්කාරිත්වය ඉවහල් වනු ඇතැයි අමාත්‍යවරුන් පෙන්වා දුන්හ.

එමෙන්ම UNEA-8 ඇතුළු ජාත්‍යන්තර පාරිසරික ක්‍රියාවලීන්හිදී සංවර්ධනය වෙමින් පවතින රටවල හඬ ශක්තිමත් කිරීමට දෙරටේ සහයෝගීතාව ඉහළ නැංවීමටද මෙහිදී තීරණය කෙරිණි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version