එල් නිනෝ කාලගුණික තත්ත්වය හේතුවෙන් මොනරාගල, පොළොන්නරුව, හම්බන්තොට, අනුරාධපුර සහ අම්පාර යන දිස්ත්‍රික්කවල සිදු වූ වගා හානි වෙනුවෙන් රුපියල් මිලියන 3,000ක වන්දි මුදලක් වෙන් කිරීමට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
පවතින වියළි කාලගුණය හේතුවෙන් වී, බඩඉරිඟු ඇතුළු බෝග වර්ග රැසකට හානි සිදුවී ඇති අතර, දැනට සිදුකර ඇති ඇස්තමේන්තු වලට අනුව ගොවීන් 7,000කට අයත් අක්කර 8,000ක පමණ වගා බිම් ප්‍රමාණයකට හානි සිදුවී තිබේ. අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් අක්කර 1,923ක් සහ මොනරාගල දිස්ත්‍රික්කයෙන් අක්කර 1,401ක් ලෙස වැඩිම හානියක් වාර්තා වී ඇත.
මෙම වන්දි මුදල් කඩිනමින් ගොවීන් වෙත ලබා දීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇති අතර, ඒ සඳහා කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ වන විටත් ක්ෂේත්‍ර පරීක්ෂණ ආරම්භ කර තිබේ.
වී, බඩඉරිඟු, ලොකු ළූණු, අර්තාපල්, සෝයා සහ මිරිස් යන බෝග සඳහා හෙක්ටයාරයකට රුපියල් 100,000 බැගින් උපරිම අක්කර 5ක් දක්වා වන්දි ගෙවීමට නියමිතය. තවමත් හානි වාර්තා නොකළ ගොවීන් සිටී නම්, වහාම තම ප්‍රදේශයේ ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානය වෙත දැනුම් දෙන ලෙස අමාත්‍යාංශය ඉල්ලා සිටී.
වැඩිදුර තොරතුරු සඳහා කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ 1918 කෙටි අංකය ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකිය.
