වෛද්‍ය නිලධාරීන් සඳහා අතරමැදි ශ්‍රේණියක් (Intermediate Cadre) පිහිටුවීමේ යෝජනාව අධ්‍යයනය කිරීම සහ ඒ පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් මත අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් මෙම කමිටුව නිල වශයෙන් පත් කර තිබේ. මෙම කමිටුවේ සභාපතිවරයා ලෙස සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හසංක විජේමුණි මහතා කටයුතු කරයි.

එමෙන්ම, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැලසුම් අංශයේ වෛද්‍ය අමිල සුරංග මහතා කමිටුවේ ලේකම්වරයා ලෙස කටයුතු කරන අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් ඇතුළු පිරිසක් එහි සාමාජිකයන් ලෙස පත් කර ඇත.

මෙම කමිටුව මගින් අතරමැදි ශ්‍රේණිය නිවැරදිව අර්ථ දැක්වීම, ඊට ඇතුළත් කළ හැකි වෛද්‍ය විශේෂඥතා හඳුනාගැනීම සහ වෛද්‍ය නිලධාරීන් තෝරා ගැනීමේ ක්‍රමවේදයන් සකස් කිරීම වැනි කරුණු කෙරෙහි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරනු ඇත.

එම නිර්දේශ මත පදනම්ව අතරමැදි ශ්‍රේණියේ නිලධාරීන් සේවය කළ යුතු කාලසීමාවන් ඇතුළු කරුණු තීරණය කිරීමට නියමිත බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version