මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මග්ගොන ප්‍රදේශයේ පිහිටි දුම්රිය පාලම ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ නව ද්විත්ව පාලමක් ඉදිකිරීමේ කටයුතු පසුගියදා නිල වශයෙන් ආරම්භ විය. ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ව්‍යාපෘතියේ වැඩකටයුතු ආරම්භ කෙරිණි.
2004 වසරේ ඇතිවූ සුනාමි ව්‍යසනයෙන් හානියට පත් දැනට පවතින පැරණි යකඩ පාලම මේ වන විට දැඩි අනාරක්ෂිත තත්ත්වයක පවතින අතර, එම හේතුවෙන් මෙම මාර්ගයේ දුම්රිය ධාවන වේගය සීමා කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුව තිබුණි. මෙම ගැටලුවට විසඳුමක් ලෙස රුපියල් මිලියන 401.03ක රාජ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වැය කරමින් නව කොන්ක්‍රීට් පාලමක් ඉදිකිරීමට සැලසුම් කර ඇත.
මීටර් 26ක් දිග සහ මීටර් 10.5ක් පළලින් යුත් මෙම නව පාලම ඉදිකිරීමේ කටයුතු ආර්.ආර්. කන්ස්ට්‍රක්ෂන් ආයතනය විසින් සිදුකරනු ලබයි. වසරක කාලයක් තුළ මෙම ඉදිකිරීම් අවසන් කිරීමට අපේක්ෂිත බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පවතින අනෙකුත් පාලම් 12ක් ද ඉදිරි වසර තුළ ප්‍රතිසංස්කරණය කිරීමට රජය සැලසුම් කර ඇති බවයි. මෙමගින් දුම්රිය ගමනාගමනය වඩාත් ආරක්ෂිත සහ වේගවත් කිරීමට හැකිවනු ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
