නේපාලයේ නුවාකොට් දිස්ත්‍රික්කයට ඇද හැළුණු අධික වර්ෂාවත් සමඟ ත්‍රිශුලි ගඟේ හටගත් හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් ප්‍රදේශයේ දැවැන්ත විනාශයක් සිදුවිය. ගං ඉවුරු කඩා වැටීමෙන් මහල් ගොඩනැගිලි සහ දේපළ රැසක් ජල පහරට හසුව ගසාගෙන ගිය අතර, එම ප්‍රදේශයම දැඩි අවදානමකට ලක්ව තිබුණි.

මෙම විනාශය මධ්‍යයේ ‘ප්‍රකාශ්’ නම් පුද්ගලයෙකුට අයත් වසර 40ක් පැරණි හරිත පැහැති නිවසක් පමණක් කිසිදු හානියකින් තොරව ඉතිරිව තිබීම කාගේත් විමතියට හේතු වී ඇත. මෙම සිදුවීම දැක්වෙන වීඩියෝ දර්ශන මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය වෙමින් පවතී.

සිය අත්දැකීම විස්තර කරමින් නිවසේ හිමිකරු සඳහන් කළේ, ගංවතුර ඉහළ ගොස් නිවසේ පහළ මහල ජලයෙන් යටවීමත් සමඟ තමන් ඇතුළු පවුලේ සාමාජිකයන් බියට පත් වූ බවයි. පසුව ඔවුන් වහාම ඉහළ මහලට ගොස් ජලය බැස යන තෙක් පැය ගණනාවක් එහි රැඳී සිටිමින් දිවි ගලවා ගැනීමට සමත් විය.

අවට තිබූ නවීන ගොඩනැගිලි පවා ගංවතුරට හසුව විනාශ වී තිබියදී මෙම පැරණි නිවස පමණක් ආරක්ෂිතව පැවතීම සම්බන්ධයෙන් විශේෂඥයන්ගේ අවධානය යොමුව තිබේ. නිවසේ ශක්තිමත් ඉදිකිරීම්, එහි හැඩය සහ පිහිටීම මෙම ආපදාවට ඔරොත්තු දීමට හේතු වන්නට ඇති බව ගෘහ නිර්මාණ ශිල්පීන් පෙන්වා දෙයි.

ගංවතුර තත්ත්වය පහව යාමත් සමඟ ගලවා ගැනීමේ කණ්ඩායම් පැමිණ නිවසේ රැඳී සිටි ප්‍රකාශ්ගේ පවුලේ සාමාජිකයන් ආරක්ෂිතව ඉවත් කර ගැනීමට කටයුතු කළේය. දරුණු විනාශයක් මැද මෙම පවුල දිවි ගලවා ගැනීම බොහෝ දෙනාට බලාපොරොත්තුවක් ගෙන දෙන පුවතක් වී තිබේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version