ප්‍රවීණ නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍ර මහත්මියගේ සැකකටයුතු මරණය සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් විවෘත තීන්දුවක් ලබා දී ඇත. ඇයගේ සිරුරේ බාහිර හෝ අභ්‍යන්තර තුවාල කිසිවක් දක්නට නොලැබුණු බව පොලිසිය පවසයි.
සිද්ධියට අදාළ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මියගිය අයගේ සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ. පිළියන්දල ප්‍රදේශයේ නිවසකදී ඇය මියගොස් සිටියදී හමුවීමෙන් පසු මෙම පරීක්ෂණ ආරම්භ කෙරිණි.
පොලිස් විමර්ශනවලට අනුව, ඇය පසුගිය 31 වැනි දින අලුයම ව්‍යාපාරිකයෙකුගේ නිවසට පැමිණ නින්දට ගොස් ඇති අතර, දහවල් කාලයේදී ඇය අවදි කිරීමට උත්සාහ කළද ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබුණි. එහිදී ඇය දැනටමත් මියගොස් සිටි බව තහවුරු විය.
මේ අතර, ඇයගේ අභාවය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළවන අසංවේදී ප්‍රකාශ සහ විවේචන පිළිබඳව ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සිය දැඩි අප්‍රසාදය පළ කර ඇත. අහිමි වීමකදී ගෞරවාන්විතව කටයුතු කරන ලෙස ඔහු සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ගෙන් ඉල්ලා සිටියි.
