ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අභිමානවත් පියාසර ඉතිහාසයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් අංක 01 පියාසර පුහුණු පක්ෂාංගය සිය 75 වන සංවත්සරය චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේදී උත්කර්ෂවත්ව සමරනු ලැබීය.

1951 වසරේ සැප්තැම්බර් මස 01 වන දින කටුනායකදී ආරම්භ වූ මෙම පක්ෂාංගය, ගුවන් නියමුවන්ගේ තිඹිරිගෙය ලෙස විරුදාවලිය ලබා ඇත. පසුකාලීනව පුහුණු කටයුතු සඳහා වඩාත් උචිත පරිසරයක් සහිත චීන වරාය වෙත ස්ථාපිත වූ මෙය, දශක හතහමාරක කාලයක් පුරා ගුවන් හමුදාවට දක්ෂ නියමුවන් පරම්පරාවක් දායාද කිරීමට සමත් විය.

වර්තමානයේදී PT-6 සහ සෙස්නා-150 වැනි ගුවන් යානා භාවිත කරමින් මූලික සහ මධ්‍යම මට්ටමේ පියාසර පුහුණුවීම් ලබා දෙන ප්‍රමුඛතම ආයතනය ලෙස මෙය ක්‍රියාත්මක වේ. අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ඉර්ෂාඩ් මුතාලිෆ් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සංවත්සර උත්සවයට ගුවන් හමුදා සාමාජිකයින්ගේ පවුල්වල සාමාජිකයෝද එක්ව සිටියහ.

සංවත්සරයට සමගාමීව ප්‍රජා සත්කාර වැඩසටහන් රැසක් සංවිධානය කර තිබූ අතර, ගුවන් යානා සහ නවීන තාක්ෂණය පිළිබඳ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන් ද මෙහිදී පැවැත්විණි. මව්බිමේ ගුවන් සීමාව සුරක්ෂිත කිරීම වෙනුවෙන් විනයගරුක සහ වෘත්තීය මට්ටමේ නියමුවන් බිහි කිරීමේ මෙහෙවර අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට පක්ෂාංගය කැපවී සිටී.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version