පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් පොලිස් ස්ථාන කිහිපයක සිදුකළ නවීකරණ කටයුතු අවසන් කර, එම ගොඩනැඟිලි සහ නව පහසුකම් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
මෙහිදී මින්නේරිය සහ පොළොන්නරුව පොලිස් ස්ථානවල ගොඩනැඟිලි සංකීර්ණ සහ අංශ රැසක් නවීකරණය කර තිබේ. විශේෂයෙන්ම පොළොන්නරුව පොලිස් ස්ථානයේ විවිධ පැමිණිලි අංශය, සම්මන්ත්‍රණ ශාලාව සහ භෝජනාගාරය නවීකරණය කර වායු සමීකරණ යන්ත්‍ර සහ නව කාර්යාල උපකරණ ලබාදීමට පියවර ගෙන ඇත.
මින්නේරිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති කාර්යාලය ඇතුළු සියලුම අංශවල යටිතල පහසුකම් වැඩිදියුණු කර ඇති අතර, මනම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා සඳහා නව නිල නිවසක් ඉදිකර විවෘත කිරීමද සිදු කෙරිණි.
මෙම උත්සවයට සමගාමීව සමාජ සත්කාරක වැඩසටහන් කිහිපයක්ද ක්‍රියාත්මක විය. ඒ අනුව, යුද්ධයේදී ආබාධිත වූ පොලිස් රණවිරුවන් තිදෙනෙකු සඳහා රෝද පුටු ප්‍රදානය කිරීමද පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
මෙම අවස්ථාව සඳහා උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තිලක් සී. ඒ. ධනපාල, ත්‍රිකුණාමලය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක, සුභසාධක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්. වී. ගිණිගේ සහ පොළොන්නරුව කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
