කළුතර ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට නියමිත “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකය සඳහා මුල්ගල තැබීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි. හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා සහ එම මැතිනියගේ පූර්ණ ධන පරිත්‍යාගයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.
වසරක කාලයක් තුළ ඉදිකිරීම් අවසන් කිරීමට නියමිත මෙම නව ගොඩනැගිල්ල, පිළිකා රෝගී සායන, කීමෝතෙරපි ප්‍රතිකාර ඒකකය සහ ඇඳන් 48කින් සමන්විත නේවාසික වාට්ටු දෙකකින් සමන්විත වේ. මෙම ඒකකය ස්ථාපිත කිරීමත් සමඟ රෝහලේ විසිරී පවතින පිළිකා ප්‍රතිකාර සේවාවන් එකම වහලක් යටට ගෙන ඒමට හැකිවීම රෝගීන්ට ලැබෙන විශාල සහනයකි.
උත්සවයේදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා, මෙරට සමස්ත මරණවලින් සියයට 83ක් පමණ බෝ නොවන රෝග හේතුවෙන් සිදුවන බව පෙන්වා දුන්නේය. සමාජය තුළ බෝ නොවන රෝග ව්‍යාප්තිය පවතින බරපතල තත්ත්වය හමුවේ, මෙවැනි මානුෂීය ව්‍යාපෘති සඳහා දායකත්වය ලබාදීම අගය කළ යුතු බව ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාව සඳහා මහා සංඝරත්නය, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය මධුභාෂිණී කරුණාරත්න මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.
