පාසල් දරුවන් මත්ද්‍රව්‍ය උවදුරෙන් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් “රටම එකට” ජාතික මෙහෙයුමට සමගාමීව විශේෂ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. මෙම වැඩසටහන මත්ද්‍රව්‍ය භාවිතයේ අවදානමක් පවතින පාසල් කේන්ද්‍ර කරගනිමින් දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මහේෂ් රත්නායක මහතා පවසන පරිදි, මෙම ව්‍යාපෘතියේ සමාරම්භක වැඩසටහන ඔක්තෝබර් 16 වැනිදා කොළඹ ග්‍රෑන්ඩ්පාස් විජයබා විද්‍යාලයෙන් ආරම්භ වනු ඇත.

“ජීවිතයට හා කියන්න – මත්ද්‍රව්‍යට බැහැ කියන්න” යන තේමාව යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන තාක්ෂණය මත පදනම් වූ විද්‍යාත්මක ප්‍රවේශයකින් යුක්ත වේ. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ මත්ද්‍රව්‍ය ප්‍රතික්ෂේප කිරීමට හැකි, නිවැරදි තීරණ ගන්නා සවිබල ගැන්වුණු දරු පරපුරක් බිහි කිරීමයි.

මෙම වැඩසටහන සඳහා පාසල් දරුවන් මෙන්ම ගුරුවරුන් සහ දෙමාපියන්ද සම්බන්ධ කර ගැනීමට නියමිතය. ඒ යටතේ ආකල්ප සංවර්ධන වැඩමුළු, දෙමාපිය දැනුවත් කිරීමේ සැසි සහ දරුවන්ගේ පෞරුෂය වර්ධනය කිරීමේ විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිත බව බලධාරීන් වැඩිදුරටත් සඳහන් කරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version