කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති දූෂණ චෝදනා සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට ඇත.

පාලන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා, මුදල් අංශයේ සහකාර අධ්‍යක්ෂවරයා සහ ප්‍රවාහන නිලධාරියා යන පිරිස මෙලෙස කොමිසම හමුවට කැඳවා තිබුණේ කතානායකවරයාට එරෙහිව පවතින විමර්ශනයට අදාළවය.

පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා විසින් පසුගිය පෙබරවාරි මාසයේදී සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කෙරිණි. රාජ්‍ය දේපළ අවභාවිතය, නීතිවිරෝධී ඉන්ධන දීමනා ලබා ගැනීම සහ රජයට අයත් නිල නිවාස අවභාවිතය ඇතුළු චෝදනා රැසක් එහි අන්තර්ගත වේ.

මෙම සිදුවීම් හරහා රජයට රුපියල් කෝටි තිහක පමණ මූල්‍ය පාඩුවක් සිදුව ඇති බව පැමිණිලිකරු පෙන්වා දී ඇත. අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් මීට පෙර චමින්ද කුලරත්න මහතාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ලිපි ලේඛන රැසක් ද කොමිසම භාරයට ගෙන තිබුණි.

මේ අතර, කතානායකවරයාට සපයා ඇති නිල නිවාස, වාහන, ඉන්ධන දීමනා, ආහාරපාන සහ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ විස්තර ඇතුළත් සම්පූර්ණ වාර්තාවක් වහාම ඉදිරිපත් කරන ලෙස පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මියට අල්ලස් කොමිසම දැනුම් දී ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version