ඇමෙරිකා එක්සත් ජනපදයේ 250 වැනි සංවත්සරය සැමරීම සඳහා අමෙරිකානු මින්ට් ආයතනය විසින් විශේෂ ඩොලර් කාසියක් හඳුන්වා දී ඇත. මෙම කාසියේ එක් පසෙක ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රුව ද, අනෙක් පස ඇමෙරිකානු මහා රාජ්‍ය මුද්‍රාව ද නිරූපණය කර තිබීම විශේෂත්වයකි.

මෙම කාසියේ සැලසුම සඳහා ඇමෙරිකානු ලලිත කලා කොමිසමේ අනුමැතිය හිමිව ඇති අතර, කාසියේ ට්‍රම්ප්ගේ රුවට ඉහළින් ‘LIBERTY’ යන වචනයත්, පහළින් ‘1776 – 2026’ යන වසර සටහන් කර ඇත. මීට අමතරව, රාජාලියෙකු නිරූපණය වන රාජ්‍ය මුද්‍රාව සහිත පසෙහි ‘E PLURIBUS UNUM’ යන ලතින් පාඨය ද ඇතුළත් වේ.

ජීවත්ව සිටින ජනාධිපතිවරයෙකුගේ රුව මුදල් නෝට්ටු හෝ කාසිවලට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් පවතින ෆෙඩරල් නීති හේතුවෙන් මෙම කාසිය පිළිබඳව විවිධ විවේචන ද මතු වී තිබේ. කෙසේ වෙතත්, ඇතැම් විශේෂ අවස්ථාවලදී කාසි නිකුත් කිරීම සඳහා භාණ්ඩාගාර ලේකම්වරයාට බලය පවතින බව වාර්තා වේ.

මෙම කාසි පැකේජ වශයෙන් අලෙවියට නිකුත් කර ඇති අතර, ජූලි 4 වැනිදාට සමගාමීව නිෂ්පාදනය කළ විශේෂ කාසි ද ඒ අතර අහඹු ලෙස ඇතුළත් කර ඇත. මේ වන විට වෙබ් අඩවිය හරහා නිකුත් කළ කාසි තොග අවසන් වී ඇති බැවින්, නව තොග සකස් කිරීමේ කටයුතු සිදුවෙමින් පවතින බව අමෙරිකානු මින්ට් ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version