ශ්‍රී ලංකාවේ කජු ක්ෂේත්‍රයේ සංවර්ධනය සහ එහි පවතින ගැටලු සඳහා විසඳුම් ලබාදීමේ අරමුණින් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදී. විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යාංශ නිලධාරීන්, ශ්‍රී ලංකා කජු සංස්ථාව, විශ්වවිද්‍යාල නියෝජිතයන් සහ පෞද්ගලික අංශයේ වැවිලිකරුවන් එක්ව සිටියහ.
මෙහිදී දේශීය කජු වගාවේ වත්මන් තත්ත්වය සහ වගා බිම් ප්‍රමාණය පුළුල් කරගැනීම පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි. වෙනත් රටවල නවීන තාක්ෂණය භාවිතයෙන් කජු ගසකින් කිලෝග්‍රෑම් 20ක පමණ ඉහළ අස්වැන්නක් ලබා ගන්නා අතර, ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අස්වැන්න කිලෝග්‍රෑම් 4ත් 5ත් අතර අගයක පවතින බව අනාවරණය විය.
රට තුළ වාර්ෂිකව කජු පැළ මිලියනයක පමණ අවශ්‍යතාවක් පවතින නමුත් දැනට නිෂ්පාදනය වන්නේ පැළ ලක්ෂ 3ත් 4ත් අතර ප්‍රමාණයකි. ඉදිරි දශකය ඉලක්ක කරගනිමින් විද්‍යාත්මක ක්‍රමවේද හරහා අවශ්‍ය බද්ධ පැළ නිෂ්පාදනය කිරීමේ වැදගත්කම පාර්ශ්වකරුවන් විසින් පෙන්වා දෙන ලදී.
නව ප්‍රභේද හඳුනා ගැනීම, අස්වැන්න වැඩි කර ගැනීම, ගුණාත්මක බීජ නිෂ්පාදනය සහ පටක රෝපණ ප්‍රචාරණය සඳහා අමාත්‍යාංශය යටතේ ඇති පර්යේෂණ ආයතනවල පූර්ණ සහය ලබා දීමට අමාත්‍යවරයා මෙහිදී එකඟතාව පළ කළේය. එෙන්ම, ඉලක්කගත පර්යේෂණ සඳහා අරමුදල් සම්පාදනය කිරීමට ද අපේක්ෂා කෙරේ.
රාජ්‍ය හා පෞද්ගලික අංශය එකතු කරමින් උපායමාර්ගික සබඳතා ඇති කර ගැනීම සහ අවබෝධතා ගිවිසුම් යටතේ වෙනත් රටවලින් ඉහළ අස්වැන්නක් ලබාදෙන ජානමය ද්‍රව්‍ය ආනයනය කිරීමේ යාන්ත්‍රණයන් සකස් කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කෙරිණි.
කජු අතුරු නිෂ්පාදන බිහි කිරීම සහ භෝග විවිධාංගීකරණයට යොමු වීම හරහා කජු ක්ෂේත්‍රය නගා සිටුවීමට අවශ්‍ය ජනතා දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටද මෙහිදී අපේක්ෂා කර ඇත.
