මිනීමැරුම් චෝදනාවක් සම්බන්ධයෙන් නඩු විභාගයකට මුහුණ දී සිටින හිටපු අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට විදේශගත වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නියෝගය නිකුත් කෙරිණි.
අදාළ විදෙස් ගමන් තහනම පිළිබඳව ආගමන හා විගමන පාලකවරයා වෙත වහාම දැනුම් දෙන ලෙස අධිකරණය නියෝග කර ඇත.
මීට අමතරව, අදාළ විත්තිකරුවන් තිදෙනාට ලබන ඔක්තෝම්බර් මස 21 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි නිකුත් කිරීමට ද විනිසුරු මඩුල්ල පියවර ගෙන තිබේ.
