හම්බන්තොට ජාත්‍යන්තර වරාය වෙත ජපානයේ NYK සමාගමට අයත් නව පරම්පරාවේ වාහන ප්‍රවාහන නෞකාවක් පළමු වරට පැමිණ තිබේ. ‘Azalea Leader’ ලෙස නම් කර ඇති මෙම නෞකාව පසුගිය අගෝස්තු මාසයේදී සිය මංගල ගමන සනිටුහන් කරමින් හම්බන්තොට වරායට ළඟා විය.
මීටර් 200ක දිගකින් යුත් මෙම නෞකාව, LNG සහ ද්විත්ව ඉන්ධන භාවිතයෙන් ධාවනය කළ හැකි නවීනතම Pure Car and Truck Carrier (PCTC) වර්ගයට අයත් වේ. 2026 වසරේ නිෂ්පාදිත මෙම නෞකාව ලයිබීරියානු ධජය යටතේ යාත්‍රා කරන අතර, එය වාහන 7,000ක් දක්වා ප්‍රවාහනය කිරීමේ හැකියාවෙන් සමන්විතය.
පරිසර හිතකාමී තාක්ෂණයෙන් යුත් මෙම නෞකාවේ ප්‍රධාන එන්ජිම සඳහා Exhaust Gas Recirculation (EGR) තාක්ෂණය යොදාගෙන ඇති අතර, එමඟින් නයිට්‍රජන් ඔක්සයිඩ් විමෝචනය අවම කිරීමට හැකි වේ. සිංගප්පූරුවේ සිට පැමිණි මෙම නෞකාව මඟින් දේශීයව ගොඩබෑම සඳහා වාහන 47ක් රැගෙන විත් ඇත.
හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) ප්‍රධාන විධායක නිලධාරී විල්සන් ක්ව් මහතා පවසන්නේ, මෙවැනි නවීන තාක්ෂණයෙන් යුත් නෞකා හම්බන්තොට වරාය වෙත පැමිණීම කලාපීය නාවික කටයුතු තුළ වරායේ වැදගත්කම තහවුරු කරන බවයි. කලාපීය RoRo ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ හම්බන්තොට වරාය ප්‍රධාන භූමිකාවක් ඉටු කරමින් සිටින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
