22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ හානියක් සිදුවන බවත්, එමගින් රටේ නීතියේ ආධිපත්‍ය තවදුරටත් දුර්වල වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. රත්තොට ආසන බල මණ්ඩල රැස්වීමක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
රට තුළ දිනපතා සිදුවන වෙඩි තැබීම් වැනි සිදුවීම් හමුවේ නීතියේ ආධිපත්‍ය දැනටමත් අවම මට්ටමක පවතින බවත්, මෙම නව සංශෝධනය හරහා එය සම්පූර්ණයෙන්ම අහෝසි වී යාමේ අවදානමක් පවතින බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
එදා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආ අවස්ථාවේදී, වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිස පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයට අමතරව ජනමත විචාරණයක් අවශ්‍ය බව අවධාරණය කළ බව ප්‍රේමදාස මහතා සිහිපත් කළේය.
එවැනි පසුබිමක, අද රජය 22 වැනි සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව පවසන්නේ කුමන පදනමකින්දැයි ඔහු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කර සිටියි. එදා 20 වැනි සංශෝධනයට දැක්වූ ස්ථාවරයම අද 22 වැනි සංශෝධනය සඳහාත් අදාළ විය යුතු බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
