චීනයේ ෂැංහයි නුවර පැවති චීන GT මෝටර් රථ ශූරතාවලියේදී සිදුවූ බිහිසුණු අනතුරක් අතරතුර, තම තරගයේ ජයග්‍රහණය පසෙක තබා අනතුරට පත් ප්‍රතිවාදී ක්‍රීඩකයෙකු බේරා ගැනීමට නෙදර්ලන්ත ජාතික රියදුරු ලොක් හාර්ටොග් කටයුතු කර තිබේ.
තරගය අතරතුර බ්‍රිතාන්‍ය ජාතික රියදුරු ඔලී මිල්රෝයි පැදවූ මෝටර් රථය අනතුරට ලක්ව ගිනි ගැනීමට ලක්වූ අතර, ඔහු රථය තුළ සිරවී සිටියේය. එම අවස්ථාවේදී අනෙකුත් රියදුරන් තරගය සඳහා ඉදිරියට ධාවනය කළද, හාර්ටොග් වහාම සිය රථය නවත්වා ගිනිගත් රථය වෙත දිවගොස් මිල්රෝයිව බේරා ගැනීමට පියවර ගත්තේය.
මෙම අනතුර හේතුවෙන් ඔලී මිල්රෝයිගේ ඉළ ඇට පහක්, කරපටි අස්ථියක්, අතක් සහ ඇඟිල්ලක් බිඳී ගොස් ඇති අතර ඔහුගේ පෙනහළුද තුවාල වී ඇත. කෙසේ වෙතත්, තමන් අද ජීවතුන් අතර සිටින්නේ හාර්ටොග්ගේ එම නිර්භීත ක්‍රියාව නිසා බව මිල්රෝයි පසුව සමාජ මාධ්‍ය ඔස්සේ සිය ස්තූතිය පළ කරමින් සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් හාර්ටොග් ප්‍රකාශ කළේ, තමන් දුටු දර්ශනය හමුවේ රියදුරුට තනිවම රථයෙන් පිටවීමට නොහැකි බව වටහා ගත් බවත්, කිසිදු පැකිලීමකින් තොරව ඔහු බේරා ගැනීමට තීරණය කළ බවත්ය. ඔහුගේ මෙම මානුෂීය ක්‍රියාව මේ වනවිට ලොව පුරා දැඩි පැසසුමට ලක්ව ඇත.
මේ අතර, තරග සංවිධායකයින් ප්‍රකාශ කළේ සිද්ධිය පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදුකරන බවත්, අනාගතයේදී හදිසි ප්‍රතිචාර දැක්වීම් සහ වෛද්‍ය සහාය ලබාදීමේ ක්‍රියාවලීන් වඩාත් ශක්තිමත් කිරීමට පියවර ගන්නා බවත්ය.
