ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේදී ඉන්දීය කණ්ඩායම සමඟ පැවති තරගයේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ක්‍රීඩක ආචාරධර්ම සංග්‍රහය උල්ලංඝනය කිරීම හේතුවෙන් පාකිස්තාන කාන්තා කණ්ඩායමේ නායිකා ෆාතිමා සනාට තරග ගාස්තුවෙන් 10%ක දඩයක් පැනවීමට පියවර ගෙන ඇත.

මෙම සිදුවීම ICC ආචාරධර්ම සංග්‍රහයේ පළමු මට්ටමේ (Level 1) වරදක් ලෙස වර්ගීකරණය කර තිබේ. ඉන්දීය ඉනිමේ දෙවැනි පන්දුවාරයේදී ෂෆාලි වර්මා දවාගැනීමෙන් අනතුරුව, ෆාතිමා සනා විසින් ක්‍රීඩාංගණයෙන් පිටත පිහිටි ක්‍රීඩක විවේකාගාරය දෙසට සිදුකළ අභිනයක් මෙම චෝදනාවට හේතු වී ඇත.

අදාළ චෝදනාව සම්බන්ධයෙන් ෆාතිමා සනා සිය වරද පිළිගෙන ඇති අතර, තරග විනිසුරු සුප්‍රියා රාණි දාස් විසින් පැනවූ දඬුවම ද ඇය භාරගෙන තිබේ. ඒ අනුව, මෙම සිදුවීම වෙනුවෙන් ඇයගේ විනය වාර්තාවට එක් අවවාදාත්මක ලකුණක් (demerit point) ද එක් කර ඇත.

පසුගිය වසර දෙකක කාලසීමාව තුළ ඇය ලබාගත් දෙවැනි අවවාදාත්මක ලකුණ මෙය වේ. මීට පෙර 2025 වසරේ අගෝස්තු මාසයේදී අයර්ලන්තයට එරෙහිව පැවති තරගයකදී ද ඇය මෙවැනිම වරදක් සිදුකර තිබිණි. ICC නීති රීතිවලට අනුව, මාස 24ක් ඇතුළත අවවාදාත්මක ලකුණු හතරක් ලබාගන්නා ක්‍රීඩකයෙකුට තරග තහනමක් පැනවීමට හැකියාව පවතී.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version