මැද පෙරදිග කලාපයේ උණුසුම්කාරී තත්ත්වය යළිත් වරක් උත්සන්න වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය දින දෙක තුළ අමෙරිකානු යුද නෞකාවකට අවස්ථා දෙකකදී ඉරානය විසින් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ, ඊට ප්‍රතිචාර වශයෙන් අමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය (CENTCOM) විසින් ඉරාන තෙල් නෞකා 5ක් ඉලක්ක කර ප්‍රහාර දියත් කර ඇත.
වාර්තා වන පරිදි, ඉරාන විප්ලවවාදී ආරක්ෂක බළකායට අයත් තෙල් නෞකා 4ක් ගල්ෆ් ඔෆ් ඕමාන් කලාපයේදීත්, තවත් නෞකාවක් කාර්ග් දූපත ආසන්නයේදීත් ප්‍රහාරයට ලක්ව තිබේ. මෙම සිදුවීම් මාලාවත් සමඟ කලාපයේ ආරක්ෂක තත්ත්වය දැඩි ලෙස අවදානමට ලක්ව ඇත.
මෙම ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වමින් ඉරානය විසින් ජෝර්දානයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරක් වෙත මිසයිල ප්‍රහාර එල්ල කර ඇත. කෙසේ වෙතත්, ජෝර්දාන ආරක්ෂක අංශ සඳහන් කරන්නේ එල්ල වූ මිසයිල 20න් 18ක්ම එරට ගුවන් ආරක්ෂක පද්ධති මගින් අක්‍රිය කිරීමට සමත් වූ බවත්, ඉතිරි මිසයිල දෙක ජනශුන්‍ය ප්‍රදේශවලට පතිත වූ බවත්ය.
අමෙරිකාව සහ ඉරානය අතර පවතින මෙම ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ගෝලීය වෙළෙඳපොළ තුළ බොරතෙල් මිලෙහි කැපී පෙනෙන ඉහළ යාමක් දක්නට ලැබේ. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් මිල 1.5%කින් ඉහළ ගොස් බැරලයක මිල ඩොලර් 99.41ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඉදිරියේදී කුවේට් සහ බහරේන් වරායන්හි පවතින අමෙරිකාවට සම්බන්ධ තෙල් නෞකා ඉලක්ක කරන බවට ඉරාන විප්ලවවාදී ආරක්ෂක බළකායේ නාවික අණදෙන නිලධාරීන් අනතුරු අඟවා තිබීම හේතුවෙන් කලාපීය අර්බුදය තවදුරටත් වර්ධනය වීමේ අවදානමක් පවතී.
