මැලේසියාවේ සරවක් ප්‍රාන්තයේදී “පියාඹන වෛද්‍ය” සේවයට අයත් හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් එහි ගමන් ගත් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මෙම අනතුරින් හෙලිකොප්ටර් නියමුවා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුයුක්තව සේවය කළ කාර්ය මණ්ඩල සාමාජිකයින් සිව්දෙනෙකු මියගොස් ඇති බව එරට බලධාරීන් තහවුරු කරයි.

මියගිය පිරිස අතර වෛද්‍ය නිලධාරියෙකු, සහකාර වෛද්‍ය නිලධාරියෙකු සහ හෙදියන් දෙදෙනෙකු සිටින බව සෞඛ්‍ය අමාත්‍ය ඩුල්කෙෆ්ලි අහමඩ් මහතා සඳහන් කළේය. මෙම යානය සරවක් ප්‍රාන්තයේ ලෝන්ග් ලෙලැන්ග් ගුවන් තොටුපළ ආසන්නයේදී අනතුරට ලක්ව තිබේ.

ග්‍රාමීය සහ දුෂ්කර ප්‍රදේශවල ජනතාවට හදිසි වෛද්‍ය ප්‍රතිකාර සහ ප්‍රවාහන පහසුකම් සැපයීම සඳහා මෙම ගුවන් වෛද්‍ය සේවය ක්‍රියාත්මක කෙරේ. අනතුර සිදුවූ ස්ථානය ඉතා දුරස්ථ ප්‍රදේශයක පිහිටා ඇති අතර, ගොඩබිම් මාර්ග ඔස්සේ එම ස්ථානයට ළඟා වීමට පැය දහයක පමණ කාලයක් ගතවන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

අනතුරින් පසු සිදුකළ සෝදිසි සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා දැඩි මීදුම් තත්ත්වය බාධාවක් වී තිබේ. අසල්වැසි ඉන්දුනීසියාවේ හටගෙන ඇති ලැව්ගිනි හේතුවෙන් මැලේසියාවේ වායු ගුණාත්මකභාවය පහළ බැස ඇති අතර, එම මීදුම ගලවා ගැනීමේ කටයුතු සඳහා බලපෑම් එල්ල කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යාංශයේ ගුවන් අනතුරු විමර්ශන කාර්යාංශය විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version