ලෝක ඉතිහාසයේ අඳුරුතම දිනයක් ලෙස සැලකෙන සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාර මාලාව සිදුවී අදට වසර 25ක් ගතවී තිබේ. 2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා අඟහරුවාදා උදෑසන මරාගෙන මැරෙන ප්‍රහාරකයින් පිරිසක් මගී ගුවන් යානා හතරක් පැහැරගෙන ඇමරිකාවේ ප්‍රධාන ස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කළහ.
පැහැරගත් ගුවන් යානා දෙකක් නිව්යෝර්ක් නුවර ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ද්විත්ව කුළුණු මතට කඩා වැදුණු අතර, ඉන් මිනිත්තු කිහිපයකට පසු එම දැවැන්ත ගොඩනැගිලි බිමට සමතලා විය. තවත් යානයක් වොෂින්ටන් අගනුවරට නුදුරින් පිහිටි පෙන්ටගන හමුදා මූලස්ථානයට කඩා වැදුණු අතර, සිව්වන යානය පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ පිට්ටනියකට කඩා වැටුණේ මගීන්ගේ විරෝධය හමුවේය.
මෙම ප්‍රහාර මාලාවෙන් පුද්ගලයින් 2,977 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර, එය මුළු ලෝකයම කම්පනයට පත් කළ සිදුවීමක් විය. ඇමරිකා එක්සත් ජනපදය මෙම දිනය නිල වශයෙන් “දේශප්‍රේමී දිනය” ලෙස නම් කර ඇති අතර, ප්‍රහාරයට ගොදුරු වූවන් සිහිපත් කිරීම සඳහා වාර්ෂිකව විවිධ සැමරුම් උත්සව පවත්වනු ලබයි.
අල්කයිඩා සංවිධානයේ එවක නායක ඔසාමා බින් ලාඩ්න්ගේ මෙහෙයවීමෙන් සිදු වූ මෙම ප්‍රහාරයෙන් පසු ලෝක දේශපාලන සිතියම විශාල වෙනසකට ලක් විය. ඇමරිකාව විසින් ත්රස්තවාදයට එරෙහිව ගෝලීය සටනක් ආරම්භ කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඇෆ්ගනිස්තානයේ තලෙයිබාන් පාලනය පෙරළා දැමීමට ද පියවර ගැණිනි.
