18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නවදිල්ලිය වෙත පැමිණ ඇත. ලොව දැඩිම ආරක්ෂාවක් සහිත රාජ්‍ය නායකයෙකු වන පුටින්, විදෙස් සංචාරවලදී පවා තමන්ගේම විශේෂ සන්නද්ධ රථයක් භාවිත කිරීම මෙවරත් කැපී පෙනෙන සිදුවීමක් විය.
මෙම රථය ‘Aurus Senat’ ලෙස හැඳින්වෙන අතර, එය බෝම්බ සහ වෙඩි ප්‍රහාරවලට පවා ඔරොත්තු දෙන පරිදි නිර්මාණය කර ඇති බැවින් ‘රෝද මත ඇති බලකොටුවක්’ ලෙස ප්‍රකටය. 2018 වසරේදී හඳුන්වා දුන් මෙම රථය, රුසියාවේ සුඛෝපභෝගී සන්නද්ධ රථ නිෂ්පාදන ව්‍යාපෘතියක ප්‍රතිඵලයකි.
ලීටර් 4.4ක twin-turbocharged V8 එන්ජිමකින් සහ hybrid පද්ධතියකින් සමන්විත මෙම රථය අශ්වබල 598ක බලයක් ජනනය කරයි. තත්පර 9ක් වැනි කෙටි කාලයක් තුළ පැයට කිලෝමීටර් 100ක වේගයක් ලබාගත හැකි මෙම රථය, අතිශය දුෂ්කර දේශගුණික තත්ත්වයන් යටතේ වුවද ධාවනය කිරීමට හැකිවන පරිදි උසස් තාක්ෂණයෙන් නිමවා ඇත.
ආරක්ෂක පහසුකම්වලට අමතරව, රථයේ අභ්‍යන්තරය උසස් තත්ත්වයේ සම් ආසන සහ නවීන infotainment පද්ධති ඇතුළු සුඛෝපභෝගී පහසුකම්වලින් සමන්විතය. රුසියානු රාජ්‍ය පර්යේෂණ ආයතනයක් වන NAMI සහ තවත් සමාගම් කිහිපයක් එක්ව නිෂ්පාදනය කරන මෙම රථය, වසරකට ඉතා සීමිත සංඛ්‍යාවක් පමණක් වෙළෙඳපොළට නිකුත් කෙරේ.
