උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ප්‍රතිකාර සේවා පුළුල් කිරීම අරමුණු කරගනිමින් නව සෞඛ්‍ය ප්‍රතිකාර සංකීර්ණ හතරක් සඳහා මුල්ගල් තැබීම හෙට (16) සිදු කිරීමට නියමිතය. මෙම උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු මැති ඇමැතිවරුන්, පළාත් ආණ්ඩුකාරවරුන් සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතය. ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) සහ ඉන්දීය රජයේ ණය ආධාර යටතේ රුපියල් මිලියන 7,148ක වියදමින් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ.

මෙම ව්‍යාපෘති යටතේ අනුරාධපුර ශික්ෂණ රෝහල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහල සඳහා අති නවීන පහසුකම්වලින් සමන්විත මහල් අටකින් යුත් හෘද රෝග ප්‍රතිකාර සංකීර්ණ දෙකක් ඉදිකෙරේ. මේ සඳහා ජපාන රජයේ සහයෝගය හිමිවී ඇත.

එමෙන්ම, මන්නාරම දිස්ත්‍රික් මහ රෝහල සඳහා හදිසි ප්‍රතිකාර ඒකකයක් සහ මුලතිව් දිස්ත්‍රික් මහ රෝහල සඳහා මහල් හතරකින් යුත් වාට්ටු සංකීර්ණයක් ඉදිකිරීමට නියමිතය. මෙම ව්‍යාපෘති දෙක ඉන්දීය රජයේ මූල්‍ය ආධාර යටතේ සිදු කෙරේ.

මෙම නව පහසුකම් මගින් කොළඹින් බැහැර ප්‍රදේශවල ජනතාවට හෘද රෝග සහ හදිසි අනතුරු සම්බන්ධ විශේෂඥ ප්‍රතිකාර සේවාවන් තම ප්‍රදේශවලින්ම නොමිලේ ලබා ගැනීමට අවස්ථාව උදාවනු ඇත. මෙය මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ වැදගත් ඉදිරි පියවරක් ලෙස සැලකේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version