මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මධ්‍ය විද්‍යාලීය ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා මුල්ගල් තැබීමේ උත්සවය ඊයේ (15) දින පැවැත්වුණි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාව සඳහා මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.

පන්දුස්සකට අධික පාසල් සිසු දරු දැරියන්ගේ දිගුකාලීන අවශ්‍යතාවයක්ව පැවති මෙම ක්‍රීඩා පිටිය නවීකරණය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් රුපියල් මිලියන 42 ක මුදලක් වෙන් කර තිබේ. විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ පූර්ණ මැදිහත්වීම මත මෙම ප්‍රතිපාදන ලැබී ඇත.

නවීන ක්‍රීඩා පහසුකම් ලබාදීම හරහා සිසුන්ගේ ක්‍රීඩා කුසලතා ජාතික මට්ටම දක්වා වර්ධනය කිරීමට මෙන්ම ඔවුන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍යය නංවාලීමට මෙමඟින් අපේක්ෂා කෙරේ.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ දරුවන්ගේ පහසුකම් සංවර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රීඩා පිටියට අමතරව වෛද්‍ය මධ්‍යස්ථානයක් පිහිටුවීමටත්, රුපියල් මිලියන 1370 ක වියදමින් තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ලක් ඉදිකිරීමටත් කටයුතු කරන බවයි.

විදුහල්පති පී.ඩබ්.ඒ.ඒ ලංකාචන්ද්‍ර මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය සහ ආදිශිෂ්‍ය සංගම් නියෝජිතයන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version