පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා ලබා නොදුන් ඔහුගේ ලැප්ටොප් පරිගණකයේ මුරපදය, වෙනත් තාක්ෂණික මාර්ගයකින් ලබා ගැනීමට කටයුතු කරන බව අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම විමර්ශනවලට අදාළව පාර්ලිමේන්තුවෙන් පිටත විපක්ෂ නායකවරයා සහ මන්ත්‍රීවරුන් සිදුකර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමටත්, ගවේෂණාත්මක මාධ්‍යවේදීන් සතු තොරතුරු ලබා ගැනීමටත් අපේක්ෂා කරන බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ පැවසීය. තවද, වව්නියාව සන්නද්ධ බුද්ධි බලකායේ සටහන් පොත් තුනක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස එහි අණදෙන නිලධාරියාට අධිකරණය නියෝග කළේය.

ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන සුරේෂ් සලේ මහතා රෝහලෙන් මුදා හැරීම සම්බන්ධයෙන් වෛද්‍ය මණ්ඩලයක් රැස්වී තීරණයක් ගැනීමට නියමිත බව අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේය. සැකකරු දින සියයකට අධික කාලයක් හෘද දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීම සඳහා රජයේ මුදලින් රුපියල් ලක්ෂ 40ක් වැය වී ඇති බවත්, ඔහු මේ වන විට සාමාන්‍ය වාට්ටුවකට මාරු කර ඇති බවත් අධිකරණයට වාර්තා විය.

සැකකරු තවදුරටත් රෝහලේ ප්‍රතිකාර ලැබිය යුතුද යන්න පිළිබඳ වෛද්‍ය වාර්තාව ලබන සඳුදා වන විට ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. විමර්ශනවලට බාධා වන අයුරින් කටයුතු කරන සැකකරු ප්‍රශ්න කිරීම සඳහා වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දීමට වෛද්‍ය මණ්ඩලය කටයුතු කරනු ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් විශ්වාසය පළ කළේය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version