විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ නිවාස සිහිනය සැබෑ කරමින්, ඔවුන්ගේ කැපකිරීම්වලට වටිනාකමක් එක් කිරීමේ අරමුණින් DFCC බැංකුව සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව ‘එතෙර දිරිය’ නමින් නව නිවාස ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දී ඇත.

මෙම වැඩසටහන යටතේ සුදුසුකම් ලබන විදේශගත ශ්‍රමිකයන්ට රුපියල් මිලියන 10ක් දක්වා වූ නිවාස ණය පහසුකම් ලබාගත හැකි වේ. වසර 10ක ආපසු ගෙවීමේ කාලසීමාවක් යටතේ ලබාදෙන මෙම ණය මුදල නිවසක් ඉදිකිරීමට, මිලදී ගැනීමට හෝ පවතින නිවසක් පිළිසකර කර ගැනීමට යොදා ගත හැකිය.

මෙම ණය යෝජනා ක්‍රමයේ ඇති විශේෂත්වය වන්නේ අය කරනු ලබන පොලිය ප්‍රතිපූර්ණ ක්‍රමවේදයක් හරහා නැවත ලබා ගැනීමට ණය ගැතියන්ට අවස්ථාව ලැබීමයි. මෙමගින් නිවසක් හිමිකර ගැනීමේදී දැරීමට සිදුවන මූල්‍ය පිරිවැය සැලකිය යුතු ලෙස අවම කර ගැනීමට ශ්‍රමිකයන්ට හැකියාව ලැබේ.

මෙම අවබෝධතා ගිවිසුමට අදාළව අදහස් දක්වමින් DFCC බැංකුවේ උප සභාපති සහ පුද්ගලික බැංකු සේවා අංශ ප්‍රධානී අසිත පින්නදූව මහතා සඳහන් කළේ, විදේශගත ශ්‍රමිකයන්ගේ මහන්සිය සහ කැපවීම ඔවුන්ගේ පවුල්වල අනාගතය වෙනුවෙන් ස්ථිරසාර දේපළක් බවට පත් කිරීමට මෙමගින් සහාය වන බවයි.

මීට අමතරව, විදේශගත ශ්‍රමිකයන් වෙනුවෙන්ම සකස් කළ ‘රටවිරු’ ඉතිරි කිරීමේ ගිණුම ඇතුළු බැංකු සේවා රැසක් හරහා ඔවුන්ගේ මූල්‍ය අවශ්‍යතා ඉටු කර ගැනීමට DFCC බැංකුව අවස්ථාව සලසා දී ඇත. මෙම නව ණය යෝජනා ක්‍රමය හරහා විදේශ ප්‍රේෂණවලින් පවුල්වල ජීවිතවලට අර්ථවත් වෙනසක් ඇති කිරීම බැංකුවේ අපේක්ෂාවයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version