දශක ගණනාවක් පුරා ශ්රී ලංකාවේ පවතින අලි-මිනිස් ගැටුමට ස්ථිරසාර විසඳුම් ලබාදීමේ අරමුණින් නව ජාතික ක්රියාකාරී සැලැස්මක් සකස් කිරීමේ මූලික පියවර ලෙස විද්වත් කමිටුවක් විසින් ක්ෂේත්ර අධ්යයන කටයුතු ආරම්භ කර ඇත.
මෙම කමිටුව සඳහා ආචාර්ය පෘථිවිරාජ් ප්රනාන්දු, ආචාර්ය සුමිත් පිලපිටිය, ආචාර්ය යූ.කේ.ජී.කේ. පද්මලාල් සහ ආචාර්ය එස්. විජෙමෝහන් යන ප්රවීණ විද්වතුන් ඇතුළත් වේ. ඔවුන්ගේ ප්රථම ක්ෂේත්ර නිරීක්ෂණය පාළුකඩවල, ඇතිනිමලේ සහ ඒරු වැව යන ප්රදේශවල ස්ථාපිත විදුලි වැට පද්ධති කේන්ද්ර කරගනිමින් සිදුකෙරේ.
විදුලි වැටවල ක්රියාකාරීත්වය සහ ඒවායේ ඇති දුර්වලතා පිළිබඳව සෘජුව අධ්යයනය කිරීමටත්, ගැටලුවලට මුහුණ දෙන ගම්වාසීන්ගේ අදහස් සහ යෝජනා ලබා ගැනීමටත් මෙම කණ්ඩායම අපේක්ෂා කරයි. එමගින් බිම් මට්ටමේ සත්ය තොරතුරු සහ විද්යාත්මක නිරීක්ෂණ මත පදනම් වූ ජාතික සැලැස්මක් සකස් කරනු ඇත.
මෙම වැඩසටහන සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්යම පරිසර අධිකාරිය ඇතුළු රාජ්ය ආයතන රැසක නිලධාරීන් සහ විශ්වවිද්යාල නියෝජිතයන් එක්වීමට නියමිතය. අලි-මිනිස් සහජීවනය තහවුරු කරමින් පරිසර පද්ධතිය සහ ජන ජීවිතය ආරක්ෂා කිරීම මෙම ව්යාපෘතියේ ප්රධාන අරමුණයි.
