සිංගප්පූරු රජය විසින් පොදු ප්රවාහන බස් රථ තුළ මගීන්ගේ හැසිරීම් පාලනය කිරීම සඳහා නව නීති මාලාවක් හඳුන්වා දී ඇත. ඒ අනුව බස් රථ තුළ අධික ශබ්දයක් ඇති වන පරිදි සංගීතයට සවන් දීම, කෑගසා කතා කිරීම සහ අන් අයට අපහසුතාවක් වන පරිදි ආහාර පාන ලබා ගැනීම තහනම් කර තිබේ.
මෙම නීති උල්ලංඝනය කරන මගීන් සඳහා ඇමරිකානු ඩොලර් 391 සිට 500 දක්වා දඩ මුදලක් අය කිරීමට නියමිතය. මීට අමතරව බස් රථය තුළ කුණු කසළ දැමීම වැනි ක්රියාවන් සඳහා ද මෙම දඩ මුදල් අදාළ වේ.
එමෙන්ම බස් රථයට හානි කිරීම, ගමනාගමනයට බාධා කිරීම සහ සෙසු මගීන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වන පරිදි හැසිරීම වැනි බරපතල වැරදි සඳහා ඇමරිකානු ඩොලර් 5,000 දක්වා දඩ මුදල් අය කිරීමට සිංගප්පූරු බලධාරීන් පියවර ගෙන ඇත.
පොදු ප්රවාහන සේවාව වඩාත් ආරක්ෂිත සහ සුවපහසු මට්ටමකට ගෙන ඒමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව එරට රජය වැඩිදුරටත් සඳහන් කරයි. සියලුම මගීන්ට ගෞරවනීය ගමන් අත්දැකීමක් ලබා දීම මෙහි මූලික අරමුණයි.
